සිංහරාජ වනාන්තරය
හෙක්‌ටයාර් තුන්දහසක් පමණ පුරා පැතිරී ඇති ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය වේගයෙන් විනාශයට ගොදුරු වෙමින් පවතී. ශ්‍රී ලංකාවටම පමණක් ආවේනික වූ ශාක වර්ග 448 ක් ද ආවේනික සත්ව විශේෂ 137 ක්‌ද සිටින සිංහරාජ වනාන්තරයේ සිටින ආවේනික සත්ත්ව විශේෂ 17 ක් ලෝකයේ වෙනත් කිසිදු තැනකදී වාර්තා නොවන තරම්ය.
සමකයට ආසන්න උෂ්ණාධික රටක් වන ශ්‍රී ලංකාව එම දැඩි උෂ්ණත්වයෙන් ආරක්‍ෂා කර මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා සුදුසු පරිසර උණුසුම සමතුලිත කරදීම උදෙසා සිංහරාජ වනාන්තරය නිහඬව ඉටු කරන්නා වූ මෙහෙවර සුළු පටු නොවේ.
මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ජලය ලබා ගැනීම සඳහා කලට වැසි ලබා දෙන්නේත්, උල්පත් ජලය සංරක්‍ෂණය කරනුයේත් ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරය මගිනි. මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත් කලාපීය වනාන්තර ප්‍රමාණය කිලෝ මීටර් 1415 ක් තරම් කුඩාවී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමස්‌ත භූමි ප්‍රමාණයෙන් සියයට 2.14 කි.කිසිවකුගේත් පිහිටාධාරයක් නොමැතිව මිනිසුන්ගේ බරපතළ කෙනෙහිලිකම් මධ්‍යයේ ඉතා අසීරුවෙන් ප්‍රාණය රැක ගනිමින් මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්ම උදෙසා කැපවී සිටින සිංහරාජ වනාන්තරය අද බරපතළ ලෙස විනාශවීමේ තර්ජනයට මුහුණපා සිටී. පසුගිය දිනවල සිංහරාජ යෝජිත වන රක්‍ෂිතය හරහා ඉදි කිරීමට සැලසුම් කළ මාර්ග පද්ධතිය එම විනාශයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුතුය.
මෙවැනි මාර්ගයක් ඉදි කිරීමට ඇති අවශ්‍යතාව කුමක්‌දැයි ප්‍රාදේශීය දේශපාලකයන් විස්‌තර කරනුයේ පොතුපිටිය හා ඉළුඹකන්ද අතර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීම සඳහා සූරියකන්දට යායුතු බවයි. එසේ වුවත් සූරියකන්ද ප්‍රදේශය ජන අවශ්‍යතා සපුරා ගත හැකි තරම් සරුසාර හා පහසුකම් සහිත ප්‍රදේශයක් නොවන බව එහි යන ඕනෑම කෙනකුට දැකගත හැකි වනු ඇත. පොතුපිටියේ සිට රක්‌වානට යැමට පහසුකම් සහිත මාර්ගයක් ඇති අතර රක්‌වාන ප්‍රදේශයේ ජන අවශ්‍යතා සපුරාගත හැකි තරම් ප්‍රමාණවත් භාණ්‌ඩ හා සේවා ද පවතී. අනෙක් කාරණාව වන්නේ පොතුපිටියේ සිට ඉළුඹකන්ද දක්‌වා දැනට කොන්ක්‍රීට් මාර්ගයක් සාදා ඇති ප්‍රදේශයේ ජීවත් වන්නේ කුඩා ජන කණ්‌ඩායම් කිහිපයක් පමණි. ඔවුන්ද වසර පහක පමණ ඉතා කෙටි කාලයකදී එම ප්‍රදේශ ආක්‍රමණය කළ අනවසර පදිංචිකරුවන්ය. සිංහරාජයට ආසන්නයේ ම ඉළුඹකන්ද ප්‍රදේශයේ පිහිටා ඇත්තේ එක් නිවසක් පමණි. එම යෝජිත මාර්ගය රක්‍ෂිතය හරහා ඉදි කරන්නට ප්‍රදේශයේ දේශපාලනඥයන් උත්සාහ දරන්නේ එකී නිවැසියන් වෙනුවෙන් උපන් දයානුකම්පාවෙන් ඔවුන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් සත්භාවයෙන් නම් කළ යුතු වන්නේ එම එකම පවුල වනාන්තර ප්‍රදේශයෙන් ඉවත් කර පහසුකම් සහිත ප්‍රදේශයක ඔවුන් පදිංචි කරවීමය. එහෙත් එසේ නොකර එම අහිංසක පවුල ඇපයට තබමින් මෙම දේශපාලන බලධාරීන් සිදුකරගෙන යන්නේ සිංහරාජය හූරාකමින් තමන්ගේ බඩ වඩා ගැනීම නොවේ දැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ.
දැනටමත් සිංහරාජ වන රක්‍ෂිතයත්, බෙරගල මූකලාන යෝජිත රක්‍ෂිතයත් ඉතා සූක්‍ෂම අයුරින් කාබාසිනියා කරමින් තිබෙන බව පරිසර සංවිධාන එකමුතුව පෙන්වා දෙයි. වනය ඇතුළට තේ වගාව ව්‍යාප්ත කරමින් මුලින් යටි වගාවද පසුව මහා රූස්‌ස ගස් ද කපමින් අති විශාල කැලෑ ප්‍රදේශ එළිපෙහෙළි කරමින් තිබේ. වනය මැදින් මාර්ගයක් ඉදිකිරීමෙන් අත්වන වාසිය වන්නේ මාර්ගය දෙපස වනය ඉතා පහසුවෙන් ඉවත්කරමින් මුළුÊවනාන්තරය පුරා පැතිර යන පරිදි තේ වගාව ඉතා පහසුවෙන් පෝෂණය කළ හැකි වීමයි.