Monday, July 23, 2018



තෙල් සහ මේදය අධිකව ඇති

සිහිනෙන්වත් නොසිතන ආහාර 

සෑම හොදි වර්ගයකම පාහේ මේදය අධික ප්‍රමාණයක්‌ අඩංගුය. ආහාර පිසීමේදී භාවිත කරන තෙල් වර්ග සහ මිටිකිරි කොටස එකතුවන්නේ හොද්දටය. එසේම ආහාර පිසීමේ ක්‍රියාවලියේ දී භාවිත කරන තාපය නිසා ආහාර කැබලි තුළ ඇති මේද කොටස්‌ ද දිය වී හොද්දට හෙවත් ඉස්‌ම කොටසට එකතු වෙයි. 


මෙහිදී අප දැඩිව වටහාගත යුතු කාරණයක්‌ වන්නේ හොදි ලිහිසි ද්‍රව්‍යයක්‌ ලෙස ක්‍රියා කරන නිසා හොදිත් සමඟ ආහාර ගන්නා විට සැපීමේ ක්‍රියාව නිසි ලෙස සිදු නොකොට ඉතා ශීඝ්‍රයෙන් කෙටි කාලයක්‌ තුළ වැඩි ආහාර ප්‍රමාණයක්‌ ගිල දැමීමට ආහාර ගන්නා කෙනා පෙලඹීමයි. ව්‍යාංජනවල හොද්ද රසයෙන් වැඩි නිසා එම තත්වය තවත් උත්සන්න කෙරෙයි. එනම් හොදිත් සමඟ ආහාර ගන්නවා යනු ඉතා කෙටි කාලයක්‌ තුළ තෙල් වැඩි ආහාර වැඩි ප්‍රමාණයක්‌ කුසට දමාගැනීමය. එය බර වැඩි සහ තරබාරු අයට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. 

හොදි අගුණ යෑයී කී විට හොද්ද හින්දවා ලබාගන්නා වඩා ඝණකම් හොද්ද හෙවත් "බොරය" ආහාරයට ගැනීමට සමහරු පෙලඹේ. එය හොද්දටත් වඩා භයානක බව අප අවබෝධක කර ගත යුතුය. තරබාරු අය අතර වැඩිපුරම සිටින්නේ කාන්තාවන් හෙවත් ගෘහණියන්ය. එය එසේ වීමට හේතු කීපයක්‌ම බලපාන අතර එම හේතු ඉදිරියේදී අපි සාකච්ඡා කරමු. නමුත් ඉන් ප්‍රධානතම හේතුවක්‌ අප මෙම විස්‌තර කරන කොටසට අයත් වන නිසා දැන් එය සළකා බළමු.




නිවසක යම්කිසි වේලකට ව්‍යාංජන 2 ක්‌ හෝ 3 ක්‌ ඉව්වා යෑයි සිතමු. මෙසේ උයන ලද ව්‍යාංජන වල උඩ කොටස්‌ ටික නිවසේ සිටිනා දරුවන්ටත් ගෘහමූලිකයාටත් අනෙක්‌ අයටත් ගෘහණිය විසින් බෙදා දෙයි. ගෘහණියට ඉතුරු වන්නේ අඩියේ ඇති හොදි සහ බොරය අධික කොටසයි. බෙදා අතිරික්‌ත වී ඇති ව්‍යංජනයක්‌ දෙස උඩින් බැලීමෙන් අප කියන මෙම කාරණය මනාව ඔප්පු කර ගත හැකිය. වඩාත්ම රසවත් මෙම අඩියේ හොද්ද, බොරය තැවරී ඇති කොටසෙන් සුළු ප්‍රමාණයක්‌ හෝ අපතේ යනවාට ගෘහණිය කැමති වන්නේ නැත. ඒ නිසා ඇය ඇතිලියත් පිහදාගෙනම ආහාරයට ගනියි. එවිට ඒ හොදි සහ බොරය සහිත තෙල් කොටස්‌ සියල්ලම ගෘහණියගේ ශරීරයට ඇතුළු වෙයි. එසේම ගෘහමූලිකයා සහ දරුවන් ආහාර ගෙන ඉතුරුවන කොටස්‌ ඉවත දමන්නටත් ගෘහණියට දුකය. ඒ නිසා එම අඩු කොටස්‌ ටිකත් යන්නේ ගෘහණියගේ සිරුර තුළටය. එවිට ඇය අන් අය අභිභවා තරබාරු විම ගැන පුදුම විය යුතු නැත. 


මස්‌ සහ බිත්තර

සියලුම මස්‌ වර්ගවල අධික මේද ප්‍රමාණයක්‌ අඩංගු වන අතර ඒ ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර සන්තෘප්ත සත්ත්ව මේදයයි. එමනිසා ශරීර බර වැඩි අයට මස්‌ ඉතා අහිතකරය. එහෙත් මස්‌ කෑමට දැඩි ගිජුකමක්‌ ඇති එයින් වැළකී සිටීම ඉතා අපහසු අයට හම සහ තෙල් කෑලි ඉවත් කළ කුකුළු මස්‌ අධික නොවන සේ සතියකට වරක්‌ පමණ ආහාරයට එකතු කර ගත හැකිය. එහෙත් හොඳම දෙය මස්‌ වෙනුවට සෞඛ්‍යයට ඉතා හිතකර මාළු ආහාරයට ගැනීමට හුරු වීමයි. එබැවින් අප ඔබට නිර්දේශ කරන්නේ මස්‌ ආහාරයට ගැනීම වෙනුවට මාළු ආහාරයට ගැනීමට හුරුවන ලෙසටයි. 

බිත්තර කහ මදයේ අධික කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක්‌ පවතී. එය එක්‌ කහ මදයක මිලිග්‍රෑම් 250 ප්‍රමාණයකටත් වඩා වැඩිය. එයට අමතරව එහි අහිතකර මේදය ද විශාල ප්‍රමාණයක්‌ එනම් කහ මදයෙන් 18 % ක්‌ පමණ ඇති නිසා බිත්තර බර වැඩි අයට සුදුසු ආහාරයක්‌ නොවේ. බිත්තර කෑමට දැඩි ගිජුකමක්‌ ඇති අයට සතියට දෙතුන් වරක්‌ බිත්තර සුදු මදය ආහාරයට ගත හැකිය. නමුත් කහමදය අහක දමා බිත්තර ආහාරයට ගන්නා කෙනෙක්‌ නැති නිසා අප පොදුවේ බිත්තරවලින් වැළකීමට නිර්දේශ කරමු. එකම නිවසේ කෙනෙක්‌ බිත්තර කහ මදය ඉවත්කර ආහාරයට ගතහොත් බිත්තර ආහරයට ගන්නා වෙනත් කෙනෙක්‌ කහ මද දෙකක්‌ම ආහාරයට ගැනීමට ඉඩ ඇත. එසේ ගන්නා කෙනාට එය අනාගතයේදී ඉතාම අහිතකර ලෙස බලපාන්නට ඉඩ ඇත. බිත්තර නිෂ්පාදකයන් සහ සත්ත්ව නිෂ්පාදන අංශ විසින් බිත්තර සෞඛ්‍යාරක්‌ෂිත සිමාවකින් තොරව ගත හැකි ආහාරයක්‌ සේ හුවාදක්‌වන්නට උත්සාහ කළත් ඒ වෙනුවෙන් ඊනියා විද්‍යාත්මක පර්යේෂණ කතා ඔවුන් කීවත් ඔබ එවැනි ප්‍රචාරවලින් මං මුලා විය යුතු නැත. එසේ පවසන්නන් ඊනියා විද්‍යාත්මක සත්‍යය වෙනුවෙන් මාරාන්තික ලෙස පෙනී සිටින්නන් නොව මහා පරිමාණ සත්ත්ව නිෂ්පාදන බහුජාතික සමාගම් වල සුවච කීකරු ගැත්තන් බව පැවසිය යුතුය.

සියලුම බටර් සහ මාගරින් වර්ග

මේවායේ තනිකරම ඇත්තේ තෙල් සහ මේදය යි. මේවා ග්‍රෑම් 100 ක ශක්‌තිය කිලෝ කැලරි 900 ක්‌ තරම් අධික ප්‍රමාණයක්‌ අඩංගු වෙයි. මේවා කිලෝග්‍රෑමයක්‌ ආහාරයට ගන්නා විට කිලෝකැලරි 9000 ක්‌ ශරීරයට එකතු වී ශරීරයේ බර ද කිලෝග්‍රෑමයකින් වැඩි වෙයි. එමනිසා බර අඩු කර ගැනීමේ යෙදී සිටින අය මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. බහු අසන්තෘප්ත සූරියකාන්ත ආදී තෙල්වලින් සාදන ලද මාගරින් වර්ග තරබාරු අයටත් ගත හැකියි යනුවෙන් ගෙන යන ප්‍රචාරය ඔබව මහදවල් මුලාකිරීමක්‌ පමණි. අනෙක්‌ අතට බටර් සහ මාගරින් සෑදීමේ ක්‍රියාවලියේදී ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර zzට්‍රාන්ස්‌ මේද අම්ලZZ නමින් හැඳින්වෙන විකෘති මේද අම්ල විශාල වශයෙන් සෑදේ. තරබාරු අයට ඒවා කිසිසේත්ම ගුණදායක වන්නේ නැත. සාමාන්‍ය අයටත් විකෘති මේද අම්ල දියවැඩියාවේ සිට හෘදයාබාධ හරහා පිළිකා ඇතිවීම ආදී ඉතා භයානක ප්‍රතිඵල අත් කර දෙයි.



අයිස්‌ක්‍රීම්, කේක්‌, පුඩිං, වටලප්පන්, චොක්‌ලට්‌, පැණිරස බිස්‌කට්‌ සහ කිරිපැණි ඇතුළත් ආහාර කාණ්‌ඩය

මෙවායේ තෙල් අධික ප්‍රමාණයක්‌ අඩංගුය. එසේම මේ සෑම එකකම සීනි ද අධික ප්‍රමාණයක්‌ අඩංගුය. මිනිසා ලෙඩ කරවන නරකම සංඝඨක දෙක එනම් තෙල් සහ සීනි උපරිම වශයෙන් අඩංගු වන මේවා බර අඩුකර ගැනීමේ යෙදී සිටිනා ඔබට කිසිසේත්ම සුදුසු නැත. එබැවින් ඔබ මේවායින් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය. 


මෙම ආහාර ඉතාම රසවත් බව සැබෑය. එයට හේතුව වන්නේ මේවායේ මිනිසුන්ගේ රස නහර උපරිමයෙන්ම උත්තේජනය කරන තෙල් සහ සීනි උපරිමයෙන්ම අඩංගු වීමයි. 

No comments:

Post a Comment

කිසිවෙකුට ඔබගේ හැඟීම් නොපවසන්න කිසිවිටෙකත් තර්ක නොකරන්න කිසිවෙකුගෙන් සැනසීම බලාපොරොත්තු නොවන්න... ඔබගේ සැනසීම ඔබම වන අතර  ඔබගේ සිත...